Wednesday, August 22, 2018

Auckland - ඕක්ලන්ඩ්


නවසීලන්තය විශාල දූපත් දෙකකින් සහ තව කුඩා දූපත් කිහිපයකින් සමන්විත ය. එය පිහිටියේ ඕස්ට්‍රේලියා මහාද්වීපයේ පහළ කෙළවරට ආසන්න පෙරදිග දිශාවෙනි. නවසීලන්ත දූපත් සමූහය ලොවට නිරාවරණය කළේ Jacob Le Maire විසින් 1616 වසරේදී ය. නවසීලන්තයේ මුල් පදිංචිකරුවෝ මාඕරි ජාතිකයෝ ය. නමුත් අද නවසීලන්ත සමස්ත ජනගහණයෙන් ඔවුන් සිටින්නේ 15%ක් පමණ ය. සමස්ත ජනගහණයෙන් 74%ක් ම යුරෝපීයයන් වන අතර ඉතිරිය ආසියාතිකයෝ ය. නමුත් සාමාන්‍යයෙන් බැලූ බැල්මට වැඩි ම පිරිසක් පෙනෙන්නට සිටින්නේ චීන්නුන් ය. නූතන නවසීලන්තයේ බොහොමයක් කඩ සාප්පු සහ අවන්හල්වල හිමිකරුවන් වන්නේ මේ චීන ජාතිකයන් ය.




නවසීලන්තය ලංකාව මෙන් 5 ගුණයක් පමණ විශාල ය. නමුත් එහි සමස්ත ජනගහණය ලංකාවේ මෙන් 1/5ක් පමණ ඉතා සුලු පිරිසකි. ප්‍රධාන නගර හැරුනුකොට සියලු ඉඩකඩම් මහ විසාල තණ පිට්ටනි ලෙසින් පවතී. රටේ වැඩි ම ප්‍රමාණයක් ඇත්තේ රෙඩ්වුඩ් සහ සයිප්‍රස් ගස් ය. ඊ ළඟට ඇත්තේ විවිධාකාර වූ ඇපල් සහ වෙනත් පළතුරු ගස් ය. එහි පොදු ම ගස වන්නේ මිදි කොළ මෙන් වූ කොල සහිත මේපල් ගස් ය. ඒවා ඍතුවෙන් ඍතුව වෙනස් වෙනස් වර්ණ ගනී. පිටත තහඩු වැස්මකින් සමන්විත නිවාසවලින් 99%ක් ම පාහේ සාදා ඇත්තේ රෙඩ්වුඩ් සහ සයිප්‍රස් දැවයෙනි. ගඩොලින් හෝ සිමෙන්තියෙන් තැනූ නිවාස ඉතා අඩු ය. ප්‍රධාන නගරවල පවා ගොඩනැගිලි වැඩි ප්‍රමාණයක් නිර්මාණය ව ඇත්තේ යකඩ සහ වානේවලිනි. කොන්ක්‍රීට් භාවිත වන්නේ අඩු ප්‍රමාණයකි.

නවසීලන්තයේ ප්‍රධාන ම ආර්ථිකය වන්නේ කිරි නිෂ්පාදනයයි. ඊ ළඟට මස් මාංශ සහ කෘෂි නිෂ්පාදනයයි. වලංගු මුදල වන්නේ නවසීලන්ත ඩොලරයයි. නවසීලන්ත ඩොලරයක් රුපියල් 111ත් 116ත් අතර වෙයි. සියලු ම ව්‍යාපාරික ස්ථානවල මෙන් ම කුඩා සිල්ලර වෙළෙන්දන් අතර පවා මුදල් ගණුදෙනු සිදු වන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් හරහා ය. සියලු ම ස්ථානවල පොෂ් මැෂින් තිබේ. මුදල් නෝට්ටු සහ කාසි සංසරණයක් ඇත්තේ ම නැති තරම් ය. සුපිරි වෙළෙඳ සංකීර්ණයන් ඉතා විශාල ය. ඒවායේ වෙන වෙන ම විවිධ බඩු භාණ්ඩ සඳහා වෙන වෙනම සාප්පු තිබේ. මේ සෑම සාප්පුවක ම සේවකයන් සිටින්නේ දෙතුන් දෙනෙක් පමණි. දෛනික ආහාර පාන සහ පාරිභෝගික භාන්ඩ අලෙවි කරන දැවැන්ත සුපර් මාකට්ටුවේ මුදල් කවුන්ටර් දෙක තුනට අමතර ව, තමන් ගත් බඩුවලට තමන් ම මුදල් ගෙවන කවුන්ටර් ද ගණනාවක් තබා තිබේ. තමන් ලබා ගත් භාණ්ඩ ස්කෑනරයට අල්ලා කාඩ් පතින් මුදල් ගෙවන්නේ තමන්ම ය. ලංකාවේ මේ ක්‍රමය තිබුනොත් මරුවට හිටිය් නේහ්...!!

නවසීලන්තයේ අගනුවර වෙලින්ටන් ය. 
එය උතුරු දූපතේ පහළ කෙළවරේ වෙලින්ටන් පිහිටා තිබේ. 
නමුත් විශාල ම නගරය වන්නේ ඕක්ලන්ඩ් ය. එය උතුරු දූපතේ ඉහළ කෙළවරේ පිහිටියේ වෙයි. 
දකුණු දූපතේ ප්‍රධාන නගරය වන්නේ ක්‍රයිස්චර්ච් ය. 

උතුරු දූපතේ සමස්ත භූමිය ම මධ්‍යම කදුවලින් සමන්විත ය. දේශගුණය සෞම්‍ය ය. සාමාන්‍යයෙන් එය ලංකාවේ නුවරඑළියට සමාන ය. උතුරු දූපතේ ඉහළ කෙළවර සැබැවින් ම නුවර එළිය වගේම ය. වෙනසකට ඇත්තේ කඳු මුදුන් සියල්ල වසාගත් තේ වතු වෙනුවට, විසල් තණ පිට්ටනි සහ එහි සිටින ලක්ෂ සංඛ්‍යාත කිරි දෙණුන්, බැටළුවන් සහ අශ්වයන් වීම ය. වඩා විශාල දකුණු දූපත උස් කඳුවලින් සමන්විතවන අතර සීතල ද අධික ය. නවසීලන්තයේ උස ම කන්ද අඕරාකි (මවුන්ට් කුක්) කන්ද අඩි 12,316ක් උස ය. එය පිහිටා ඇත්තේ ද දකුණු දූපතේ ය. නවසීලන්තය පිහිටා ඇත්තේ ගිනිකඳු සහ භූමිකම්පා කලාපයේ ය. නමුත් මෑතකදී එහි එකදු ගිනි කන්දක්වත් පුපුරා ගොස් නැත. ලොව පුපුරා නොගිය භයානක ම සුපිරි ගිනි කන්දක් Super Volcano පිහිටා ඇත්තේ ද උතුරු දූපතේ ය. එය නමින් ටවුපෝ වැව Taupo Lake ය. ඇත්තෙන් ම එය කන්දක් නොවේ දැවැන්ත වැවකි. එසේ වන්නේ එහි අධික උෂ්ණත්වය නිසා ම උණු වී එන ලාවා කන්ද ඇතුලේදී ම නැවත කඩා වැටීම සිදු වන නිසා ය. එහි මුව විට විශාල වැවකි. ඒ වැවේ ප්‍රමාණය මුලු සිංගප්පූරුවට වඩා විශාල ය. යම් දවසක එය පුපුරා ගියහොත් මුලු නවසීලන්තය ම ලෝකයට අහිමි වනවා පමණක් නොව, සමස්ත ලෝකයේ ම පරිසර පද්ධතියට මහා විනාඔයක් සිදු කරනු ඇති. ටවුපෝ යනු ලොව ඇති භයානක ම සුපිරි ගිනිකඳු 13න් එකකි. 



සමස්ත රට පුරා ම, ඉතා හොඳින් සාදා නඩත්තු කරන මාර්ග පද්ධතිවලින් සමන්විත ය. සෑම පාරක ම මාර්ග සඥා පුවරු සහ නාම පුවරු දකින්නට ලැබේ. නවසීලන්තයේ කුමන ප්‍රදේශයකට ඔබ ගොඩබැස්ස ද කිසිවකුගෙන් නොඅසා ඉතා පහසුවෙන් ගමන් මාර්ග සහ ප්‍රදේශ සොයා ගන්නට පුළුවන. ප්‍රධාන නගරවල හැර අනෙක් පලාත්වල ඇත්තේ මං තීරු දෙකේ මහා මාර්ග ය. ඒවායේ වේග සීමාය පැ.කි.මී 100කි. නිවාස ඇති ප්‍රදේශවල වේග සීමාව පැ.කි.මී. 50කි. බොහෝ මාර්ග ලොකු වංගු සහිත ය. ඒ වංගුවල වේගපැ.කි.මී 75ට, පැ.කි.මී 35ට ආදී වශයෙන් සීමා කර තිබේ. සෑම ප්‍රධාන මාර්ගයක් ම පාහේ සුදු සහ කහ ඉරිවලින් බෙදා වෙන් කර ඇති අතර, ඉස්සර කිරීම සඳහා අතරින් පතර වෙනම පහසුකම් සලසා තිබේ. සෑම අතුරු මාර්ගයක ම නම ද, වංගු ඇති බව ද, ලිස්සන සුළු බව ද ආදී මාර්ග සඥා සවි කර ඇත. ඊටත් වඩා නැවතී විඩා නිවන තැන් සහිත බව ද, නැරඹුම් ස්ථාන ඇති බව ද, තමන් සිටින තැන සිට ඊට ඇති දුර ද, පාරේ ඇත්තේ මොන පැත්තේ ද යන වග ද සටහන් කොට තිබේ. එමෙන් ම නාගරික සහ ග්‍රාමීය නිවාස පරිසරවලදී විශාල වාහනවල එන්ජින් බ්රේක් යෙදීම තහනම් බව පැහැදිලි ව සඳහන් කර ඇත. ඒ අධික ශබ්දය අඩු කරනු සඳහා ය.



සමස්ත ජනතාව ම ඉතා විනීත ය. නීති ගරුක ය. සුහදශීලී ය. ධනපතියා ය, දුප්පතා ය, සේවකයා ය කියා වෙනසක් එහි දකින්නට නැත. අතිශය පොහොසත් නිවෙසක පවා ගෘහ සේවකයන් නැත. ගෙදර සියලු වැඩ කටයුතු කර ගන්නේ නිවැසියන්ම ය. යන්ත්‍රයෙන් තණකොල කැපීමේ සිට වත්ත සුද්ද කර ගැනීම, පැලවලට වතුර දැමීම, සතා සීපාවාට සැලකීම ආදී සියල්ල කරන්නේ නිවැසියන්ම ය. ප්‍රධාන නගරවලදී සිඟන්නන් ද දැකිය හැකි ය. එමෙන් ම බීමත් ව එකිනෙකාට මහ හඬින් බැන ගන්නා පිරිසක් ද දුටුවෙමි. ඕක්ලන්ඩ් සහ තදාසන්න බොහෝ නිවාසවල ජංගම ලැගුම්හල් සහිත කැරවෑන් ද, මෝටර් බෝට්ටු ද තිබෙනු දුටුවෙමි. නිවාඩුවක් ලැබුනු සැණින් ඔවුහු රට පුරා සංචාරය කරති. සති අන්ත නිවාඩු දිනවල මහා මාර්ගයේ වැඩියෙන් ම දැකිය හැක්කේ මේ කැරවෑන් සහ බෝට්ටු එල්ලාගත් වාහන ය. මේ කැරවෑන්වල ඇඳන් ද, වැසිකිලි පහසුකම් ද, කුස්සියක් ද තිබේ. වැඩිමනත් වැසිකිලි පහසුකම් ඇවැසිනම් පොදු වැසිකිලි ඕනෑ තරම් තිබේ. කුස්සියක් ඇත්තේ නගරයෙන් ඔබ්බට ගිය විට අඩු තරමින් වඩේ ප්ලේන්ටියක් තරමේ දෙයක්වත් ගන්නට කඩ බක්කියක්වත් නැති නිසා ය...!!

රටේ පොදු පහසුකම් ඉතා ම ප්‍රශස්ත ය. නගරය පුරා ම සහ සෑම නැරඹුම් ස්ථානයක ම පොදු වැසිකිලි පහසුකම් තනා තිබේ. ඒවා ඉතා පිරිසිදු ය. සෑම පොදු වැසිකිලියක ම ටොයිලට් පේපරයේ සිට සියලු ම පහසුකම් සලසා තිබේ. මේවා භාවිතා කොට ජරාජීර්ණ කරන කිසිවෙක් නැත. ලංකාව පුරා ම පාහේ සංචාරය කර ඇති මට අපේ රටේ ඇති පොදු වැසිකිලි ගැන ඇත්තේ අතිමහත් ම අපුලකි. කොටින් ම මගී ජනයාට පහසුකම් සලසන හෝටලවල, ඉන්ධන සේවාහල්වල පවා වැසිකිලියකට යන්නට බැරි ය. අතිශය අපිරිසිදු ය. සෑදුවාට පසු කිසි දා ක ඒවා යළි සෝදා පිරිසිදු කර නැත. ඒවාට යන අපේ අය ද ඊට එහා ය...දොර ළඟ සිට ම වුව මලපහ කොට එන්නට උන් හරි සමත් ය...!!

මා නවසීලන්තයේ ගත කළේ සති දෙකක් පමණ ඉතා කුඩා කාලයක් පමණ ය. ඒ සිටි මුලු කාලයට ම වාහනයක නලා සද්දයක් ඇසුනේ එක ම එක වතාවක පමණ ය. එ ද මගේ දුව පදවමින් සිටි රථය පසුපසින් පැමිණි දැවැන්ත පොයන්ටික් කාරයේ හිටි පත සුද්දා වරක් හඬ තැලීම ය. රටේ මාර්ග නීති ඉතා තද ය. සියලු ම පුරවැසියන් මෙන් ම සංචාරකයන් ද ඒ නීතිවලට අනුකූල ය. බය ය. මාර්ග වරදක් කොට පලා යන්නට බැරි ය. දඩ කොළ තැපෑලෙන් ගෙදරට ලැබේ. ඒවා නොගෙවා සැඟවී සිටින්නට ද බැරි ය. වාහනයේ ලියාපදිංචිය අලුත් කරන විට නොගෙවූ සියලු දඩ මුදල් ද ගෙවන්නට සිදු වන බැවිනි.



මුලු රටේ ම සෑම පුරවැසියකුට ම පාහේ අවම වශයෙන් එක් වාහනයක් හෝ තිබේ. එරටේ භාවිත වන වාහනවලින් බොහෝමයක් ම පාහේ අපේ රටේ සුපිරි ම වාහන ලෙස සැලකෙන ඒවා ය. කුඩා කාර් රථ ඇත්තේ සුලු ප්‍රමාණයකි. වාහන මිල ද ඉතා අඩු ය. ලංකාවේ දී 400%ක් පමණ වන වාහන බදු එහි නැත. සමස්ත ජනතාව ම උපයන මුදලට බදු ගෙවූව ද, ඒ බදු මුදලින් අමන කාලකන්නි දේසපාලුවන් නඩත්තු කරන්නට වැය නොකර ජනතාවට ම ආපසු ලැබේ. නමුත් ඒ මුලු වාහන ප්‍රමාණය ම කොළඹ ඇති වාහනවලට වඩා අඩු ය. මංතීරු කිහිපයකින් සමන්විත වන මාර්ග ඇත්තේ ප්‍රධාන නගරවල පමණ ය. පැය ගණනට වැටුප් ලබන හැමට ම, වැයවන මිනිත්තුව ද ඩොලර් වුව, එකා පස්සේ එකා යනවා මිසෙක, කිසිවෙක් ඒවාට ඉස්සර කරන්නට දත කන්නේ ද, නළියන්නේ ද නැත. සාමාන්‍ය රාජකාරි ආරම්භ කරන වේලාවල් වනවිට නගරයේ රථ වාහන තදබදය ද ඉතා අධික ය. සැතැපුම් ගණන් දිග වාහන පෝලිම් ඒ අවස්ථාවල දැකිය හැකි වුව ද, සෑම මංතීරුවක ම ඇත්තේ එක් වාහන පේලියක් පමණක් ම වීම ද අතිශය අරුම දැකීමක් වෙයි. අපේ රටේනම් මාර්ග සඥා පුවරුවක් අසල රතු එලිය දැල්වී ඇති විටෙක, මං තීරු දෙකේ වාහන පේලි 5ක් ද, පාරේ අනික් පැත්තේ ත්‍රීවීල් පේලියක් ද, ඇඟිල්ලක් ගැසිය හැකි සෑම ඉඩෙක ම මෝටර් සයිකල් ද දකින්නට පුලුවන් නිසා ය. ඒ රටේ සෑම රියැදුරෙක් ම අනෙකුත් රියැදුරන්ට ගරු කරයි. තමන්ට දකුණු පැත්තෙන් එන වාහනයට වහා ම ඉඩ පහසුකම් සලසා දෙයි. සඥා දල්වයි. පසු කර යන විට අත ඔසවා සන් කරයි. නියමිත ස්ථානවලින් පාර මාරුවන පදිකයන්ට ද සියලු වාහන නවතාගෙන සිට ඉඩ ප්‍රස්තාව ලබා දෙයි. 



එසේ තිබියදීත් අනතුරු සිදු වූ වාහන අංගනයකට ගියෙමි. එහි තිබූ හොම්බ කට සමතලා වූ වාහන කන්දරාව දැක මගේ බඩ පපුව දා ගියේ ය...! අප සිටි සති දෙකට ද අනතුරු තුනක් දුටුවෙමි. ඒවා ද සුලු ඒවා නොව බර සාර ඒවා ය..!



පදින බයිසිකල් සඳහා ද වෙනම මං තීරුවක් ඇති අතර කිසිදු වාහනයක් ඒවා තරණය නොකරයි. මෝටර් සයිකල් ප්‍රමාණය ද ඉතා අඩු ය. ඇත්තේ ද එන්ජින් ධාරිතාව වැඩි සුපිරි මෝටර් සයිකල් ය. යමෙකුට එරටේ මෝටර් සයිකල් පදින්නට බලපත්‍රය ගැනීම පහසු නැත. වසරින් වසර එය අලුත් කළ යුතු සේ ම පන්තියෙන් පන්තියට උසස් කළ යුතු විභාග ද ඇත. පාරේ වාහන දෙකක් ගමන් කරන විට අතර මැදින් යාමට අවසර ඇත්තේ මෝටර් සයිකල්වලට පමණි. ඒ ද ඉදිරියෙන් අවහිරයක් නැතිනම් පමණි. ඉන්දියානු ජාතිකයන් විශාල ප්‍රමාණයක් සිටිය ද, නවසීලන්තයේ ගත කළ සුලු කාලසීමාය පුරා ම කිසිදු ඉන්දියන් බඩකඩිත්තුවක් දකින්නට නොලැබීම ද පුදුමාකාර ය... ත්‍රීවීල් කාරයින්නම් සැතැපුම් දහස් ගණනක් ඈත එපිට ය. එය ම ඒ රටට වාසනාවකි..!!

උතුරු දූපතේ මුදල් අය කරන අධිවේගී මාර්ග ඇත්තේ ද දෙකකි. එහි වේග සීමාව පැ.කි.මී 110කි. මුදල් ගෙවිය යුත්තේ ද වෙබ් අඩවිය හරහා ය. ගණනය කිරීම සිදුවන්නේ ස්වයංක්‍රීය කැමරා පද්ධතියකිනි.

මා ගත කළ කෙටි කාල සීමාව තුළ මට යන්නට හැකි වූයේ ඉතා සුලු ස්ථාන කිහිපයකට පමණි. ඊට එක් හේතුවක් වූයේ මේ ස්ථාන දෙකක් අතර දුර කිමී දෙතුන් සියයක් හෝ ඊටත් වැඩි වීම ය. ඉදිරි වැඩ කටයුතු සහ කාලය අනුව මා දුටු සුන්දර ස්ථානවල විස්තර ඔබට ද දැක බලා ගන්නට හැකි පරිදි පළ කරන්නට බලාපොරොත්තු වෙමි.

2018 මැයි 03. 
©ඉන්ද්‍රනාථ තේනුවර.